බස්නාහිර පළාතේ කැලණිය අධ්‍යාපන කලාපයේ මහර කොට්ඨාසයේ පිහිටි විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය දෙවන වර්ගයේ පාසලකි. කිරිඳිවැල ගම්පහ ප්‍රධාන මාර්ගයේ ගම්පහ දිශාවේ සිට එන විට රබර්වත්ත හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් එකක් පමණ ඍජුව ගමන් කළ විට දකුණු පස විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත. මෙය මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 292 - විළිඹුල උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති පාසලකි. මිශ්‍ර පාසලක් වන මෙහි වර්තමානය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව හාරසිය දාසයකි. ගුරුභවතුන් සංඛ්‍යාව 21 කි. ප්‍රාථමික අංශයේ සමාන්තර පන්ති දෙක බැගින් පවතින අතර, ද්විතීයික අංශයේ සමාන්තර පන්ති නොමැත . වර්තමානයේ ඒ.එස්. සුබෝදා මහත්මිය මෙම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන අතර ,ඇය ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියකි.
වසර 64 කට පෙර සිසුන් පස් දෙනෙක් හා ගුරුභවතුන් තිදෙනකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයක් සහිතව 1957-03-01 විලිඹුල කනිටු විදුහල නමින් ආරම්භ වී ඇති මෙම පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා එම්.චන්ද්‍රසේන මහතා වූ අතර , ගොඩනැගිලි පැවතියේ එකක් පමණි . එවකට එක සිට පහ දක්වා පමණක් පන්ති පැවැතුන නමුත් , ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරු සංඛ්‍යාව වර්ධනයවෙමින් 1990 වන විට ගුරු සංඛ්‍යාව 11ක් ද ශිෂ්‍ය සංඛ්‍යාව 200 ඉක්මවා ද තිබිණි. මේ වන විට , අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පන්ති වර්ධනය වී තිබූ බව ද සඳහන් වේ.
විළිඹුළ නම් ග්‍රාමය මුල්කොටගෙන අවට ගම් වශයෙන් සැලකෙන පුවක්පිටිය, බලිවිල,එක්සත්ගම,
අමුණුකුඹුර, පාළුපැල්පිට ආදී ගම්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එදා සිට අද දක්වාම මෙම පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර , ඔවුන් ග්‍රාම නිලධාරී වසම් වශයෙන් ගත් කල, පුවක්පිටිය උතුර ,පුවක්පිටිය දකුණ,විළිඹුළ උතුර,විළිඹුළ දකුණ ,බලිවිල යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට අයත් සිසු දරු දැරියන් වේ. විෂය බාහිර ක්‍රියාකාරකම්වල ප්‍රගතියක් ඇති වී තිබුණු අතර , 1990 වසරේ ශිෂ්‍ය සාධන මට්ටම ඉහළ තත්ත්වයක තිබුණු බව සඳහන් වේ. 2007 පහ ශේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මගින් දිවයිනේ හයවන ස්ථානය ලබා ගැනීමට ද විද්‍යාලයේ සිසුවෙක් සමත් වී තිබේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ජයග්‍රහණ ලබා ගත් දරුවන් අද වනවිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර උසස් රැකියාවල නිරත වන බවට තොරතුරු පාසල් ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලි වේ.
මේ සමගින්ම ප්‍රජා දායකත්වය ද ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර , වර්තමානය වන විට පන්ති කාමර දෙකක් සීමාසහිත බ්‍රැන්ඩික්ස් සමාගම (ෆොන්ටෙරා ආයතනය) විසින් ද , විලිඹුල - මුතු හිරු යෞවන සමාජය විසින් ද ඉදිකර දී ඇත .
සුන්දර පාසල් වටපිටාවක් නිර්මාණය කරගනිමින් දෛනිකව පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී දෙමව්පියන් , සිසු දරුවන් සහ ගුරුභවතුන් පාසල් පිරියත අලංකාරව පවත්වාගැනීමට දක්වන උනන්දුව නිසාම මෙම පාසල සුන්දර පාසලක් ලෙස පාසලට පැමිණෙන අයවලුන්ගේ ප්‍රශංසාවට ද නිබඳවම ලක් වේ. එබැවින්ම 2016 වසර ජාතික ඵලදායීතා කුසලතා සම්මානය මෙන්ම , හොඳම සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල ලෙස රන් සම්මානය ද දිනා ගැනීමට විද්‍යාලය සමත් වී තිබේ.
පාසලට විශාල අවශ්‍යතාවයක්ව පැවති ක්‍රීඩා පිටිය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රතිපාදන යටතේ ඉදිකළ අතර , 2018 වසරේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. පළාත් සභා අරමුදල් මගින් 2019 වසරේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ද ආරම්භ වූ අතර , ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සම්භවය මත නව පැළයක් රෝපණය කර බෝධිප්‍රාකාරය නිර්මාණය කිරීම ද මේ කාලවකවානුවේ දී සිදු විය. දෙමහල් ගොඩනැගිල්ලේ පහත මාලයේ එක් කාමරයක් විදුහල්පති කාර්‍යාලය ලෙස ස්ථාපනය කරන ලදී. දෙමාපිය දායකත්වයෙන් පන්ති කාමර දෙකක් තාවකාලිකව පිළියෙල කර , එම පන්ති කාමරවල 6 සහ 11 ශ්‍රේණි පන්ති ස්ථානගත කෙරිණි.
වර්තමාන තත්ත්වය පිළිබඳ හැඳින්වීමේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 400 ඉක්මවා ඇති අතර , ගුරු මණ්ඩලය 21කි. උපාධිධාරී, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරී ගුරු භවතුන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනී. 2000 වර්ෂයේ සිට උපාධිධාරී සංවර්ධන නිළධාරි මහත්ම මහත්මීන් හයදෙනෙක් පාසලේ අධ්‍යයන අනධ්‍යයන කටයුතුවල යෙදී සිටී .විදුහල්පතිතුමිය ලෙස ඒ.එස්.සුබෝදා මහත්මිය 2021 ජූනි 20 දින සිට සේවය කරන අතර , ඇය ශ්‍රී.ල.වි.සේ.lll ශ්‍රේණියේ නිලධාරිනියකි.අද වන විට 01 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර , 06 - 09 පන්ති සඳහා විෂයයන් 13ක් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා කාණ්ඩ විෂයයන් හතක් යටතේ සිසුන්ට ඉගෙනීමේ කටයුතු සිදුකිරීමේ පහසුකම් සලසා දී තිබෙන අතර ,
අප පාසලේ භෞතික අවශ්‍යතා සලකා බැලීමේ දී පන්ති කාමර හා වැසිකිළිවල හිඟතාවයක් පවතී. ඒවාට විසඳුම් ලෙස 2021 වසරේ නාලක ගොඩහේවා ඇමතිතුමාගේ ප්‍රතිපාදන යටතේ එළිමහන් පන්ති කාමරයක් ඉදිකර සිසු අයිතියට පැවරූ අතර , වර්තමානය වන විට එය පන්ති කාමරයක් ලෙස නවීකරණය කර ඇත. එසේම , මේ වන විට විළිඹුළ එක්සත් වෙළඳ සංගමයේ ධන පරිත්‍යාගයෙන් ප්‍රාථමික අංශය සඳහා ඉදිවන අඩි 20×25 ප්‍රමාණයේ පන්ති කාමරයක වැඩ අවසන් වෙමින් පවතී. 2021සහ 2022 වසරේ නව වැසිකිළි ඉදිකර සිසුන්ගේ සනීපාරක්ෂක කටයුතු ක්‍රමවත් කර ඇති අතර ,
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු හා විෂය සමගාමි කටයුතුවල පසුබෑමක් සිදු වී තිබුණ ද මේ වන විට සිසුන් යථා තත්ත්වයට පත්ව ඉතා උද්යෝගයෙන් තම අධ්‍යාපන කටයුතුවල නිරත වන බව පෙනේ. විෂය සමගාමී කටයුතුවල සතුටින් යෙදී ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ද ඔවුන් පෙළඹී ඇත.





